SLTJ රාවය පුවත්පත සමඟ කළ සාකච්ඡාව

227

අපි ත්‍රස්තවාදීන් නොවෙයි – තවුසීෆ් අහමඞ්

දේශක-ශ්‍රී ලංකා තවුහිද් ජමාඅත් සංවිධානය

සාකච්ඡා කළේ – ශ්‍රීලාල් සෙනෙවිරත්න

තවුහිද් ජමාඅත් කියන්නෙ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානයක් බවයි මුස්ලිම් නොවන ප්‍රජාවේ වත්මන් අවබෝධය. ඒ ගැන ඔබට කියන්නට ඇත්තේ කුමක්ද?

තවුහිද් ජමාඅත් කියන නමින් රට පුරා නානාවිධ සංවිධාන තියනවා. ඒ අතරින් ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ වුණේ කාත්තාන්කුඩි ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණු ‘ජාතික තවුහිද් ජමාඅත්’ කියන සංවිධානයේ සේවය කළ සහරාන් කියන පුද්ගලයා සහ ඔහුගේ සමීපතමයන් පිරිසක්. ඒත් තවත් තවුහිද් ජමාඅත් සංවිධාන ගණනාවක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඒවායේ අය මේ ප්‍රහාරයට හෝ වෙනත් ත්‍රස්තවාදී වැඩවලට කිසිම සම්බන්ධයක් නෑ. තවුහිද් ජමාඅත් කියන්නේ ඒකදේව වාදය අදහන කණ්ඩායම කියන එකයි. අරාබි භාෂාවෙන් තවුහිද් කියන්නේ ‘ඒකදේව වාදය’ට. ජමාඅත් කියන්නේ කණ්ඩායම කියන අදහස. ඒකදේවවාදය කියන සංකල්පය පොදුවේ හැම මුස්ලිම්වරයෙකුටම අදාළයි. ඒ නිසා ඕනෙම පිරිසකට මේ නම යොදාගෙන සංවිධානයක් ආරම්භ කරන්න පුළුවන්. ඕනෙම මුස්ලිම් කෙනෙක් අදහන්නේ එකම දෙවියා කියන සංකල්ප නිසා. ඒ අනුව තවුහිද් ජමාඅත් සංවිධාන කියන්නේ විවිධ අරමුණු ඇතිව විවිධ මත දරන මුස්ලිම් පිරිස් හදාගත්ත සංවිධාන මිස ත්‍රස්තවාදී සංවිධාන නොවෙයි.

ඔබ කියන්නේ සහ්රාන්ගේ ජාතික තවුහිද් ජමාඅත් සංවිධානයට අනෙක් කිසිම තවුහිද් සංවිධානයකට නොතිබුණු, ත්‍රස්තවාදය සඳහාම වූ, න්‍යාය පත්‍රයක් තිබුණා කියලද?

සහරාන් හිටිය ජාතික තවුහිද් ජමාඅත් සංවිධානයේ න්‍යාය පත්‍රය ගැන නිශ්චිත යමක් කියන්න අපිට හැකියාවක් නෑ. ඒත් ප්‍රහාරය සිදුවෙන විට ඒ සංවිධානයෙනුත් සහරාන් ඉවත් කර සිටිය බවට වාර්තා පළවෙනවා. ප්‍රහාරයට සම්බන්ධ වෙලා තියෙන්නෙත් ඒ සංවිධානයේ සාමාජිකයන් පිරිසක් නොවන බවත්, සහරාන් සහ ඔහුගේ ඥාතී හිතවතුන් පිරිසක් බවත් අනාවරණය වී තිබෙනවා. ඒ නිසා අපිටත් පැහැදිලි නෑ මොකක්ද මේ වුණේ කියලා. සහරාන්ගේ පුපුරවා ගැනීම් සෙට් එකේ තව්හිද් ජමාත් කියලා ප්‍රසිද්ධ එකම පුද්ගලයා සහරාන් විතරයි. අනෙක් එක්කෙනෙක්වත් තව්හිද් ජමාත් කියලා ප්‍රසිද්ධියක් තිබුණු අය නෙවෙයි. ඊබ්‍රාහිම්ගේ පවුලයි තව්හිද් ජමාත් එකයි අතරත් කිසිම සම්බන්ධයක් නෑ. ගෙවල් ළඟ පාත කියලා දැනගත්තෙත් නිව්ස්වලින්ම තමයි. ඊට ඉස්සෙල්ලා අපි දැකලාවත් නෑ. පවුල් දෙකක කට්ටියක් තමයි එතන ඉන්නේ.

පහුගිය ඉරිදා ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පුවතකින් වාර්තා කරලා තියනවා මාලිගාවත්ත සද්ධර්ම මාවතේ තිබෙන නීති විරෝධී තවුහිද් ජමාඅත් සංවිධානයක් සමාජ සේවා ආයතනයක් ලෙස ලියාපදිංචි වී ඇති බවට ප්‍රවෘත්තියක්. මේ කියන්නේ ඔබලාගේ ශ්‍රී ලංකා තව්හිද් ජමාඅත් සංවිධානය ගැන නේද?

මාලිගාවත්ත සද්ධර්ම මාවතේ තියෙන්නේ අපේ ශ්‍රී ලංකා තවුහිද් ජමාඅත් සංවිධානය විතරයි. නම සඳහන් නොකර පළකර තිබුණත් ඒ ප්‍රවෘත්ති වාර්තාවෙන් කියැවෙන්නේ අපේ සංවිධානය ගැන බව එයින් පෙනෙනවා. ඒ වාර්තාව වැරදි වාර්තාවක්. අපේ සංවිධානය ලියාපදිංචි කරලා තියෙන්නේ සමාජ සේවා ආයතනයක් ලෙස නොවෙයි. රහසිගතවත් නොවෙයි. ප්‍රසිද්ධියේ, මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ. රටේ මේ වගේ ගැටලුකාරී තත්ත්වයක් තියන වෙලාවක අපෙන් කිසිම විමසීමක් හෝ නොකර මේ වගේ අසත්‍ය ප්‍රවෘත්ති දාන එකෙන් වෙන්නේ අපගේ ජීවිත පවා අවදානමකට ලක්වෙන එකයි.

සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ලිපියක සඳහන් වෙනවා සහරාන් ඔබ සංවිධානයේ සිට බිඳී ගිය අයෙක් කියලා. ඒකත් අසත්‍යයක්ද?

ඒක අමූලික බොරුවක්. ඔය ප්‍රවෘත්තිය මුලින්ම වාර්තා කරලා තිබුණේ ලංකාදීප පත්තරේ සම්මුඛ සාකච්ඡාවකින්. සාකච්ඡාවෙදි නොකී දෙයක් තමයි පුවත්පතේ ඒ විදිහට වාර්තා කරලා තිබුණේ. පසුව සාකච්ඡාවට සහභාගි වූ අය ඒ ගැන පුවත්පතෙන් විමසලා නිවැරදි කිරීමක් පළකොට තිබුණා. එහෙත් මේ වැරදි කරුණු ජනමාධ්‍ය මගින් දිගින් දිගටම සමාජගත කරමින් තිබෙන බව මෙයින් පෙනෙන්නේ.

මේ වගේ සංවිධානයක් පිහිටුවා ගෙන මොනවද ඔබලා මුස්ලිම් සමාජයේ සිදුකළ වෙනස්කම්?

මේකත් එක්ක ලොකු වෙනසක් මුස්ලිම් සම්ප්‍රදාය තුළ සිදුවුණා. උදාහරණයක් විදිහට ඉස්සර මුස්ලිම් අය හිතාගෙන හිටියා ලේ දන් දෙන එක අකැපයි කියලා. අපි ඒ අදහස වෙනස් කළා. මුස්ලිම් සංවිධානයක් වශයෙන් අපි අවුරුද්දකට පයින්ට් 3000ක් ලේ දන් දෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමැතිතුමා විදිහට කටයුතු කරන කාලේදි එයා අතින්ම අපිට මේ සඳහා සම්මානයක් පවා ලැබුණා. ඒ වගේම මෑත කාලයේ මුස්ලිම් සමාජය තුළ ගොඩාක් ප්‍රචලිත කෙරුණ සංකල්පයක් තමයි කාන්තාවන් මුහුණ ආවරණය කරන්න ඕනේ කියන එක. මේකත් අපි කැඩුවා. කුර්ආන් එකත් එක්කම, සාක්ෂි සාධක සහිතවම අපි පෙන්නලා දුන්නා මේක වැරදියි කියලා. බොහෝ විට මේ වන විට සාකච්ඡා වෙන්නේ ආරක්ෂක අර්බුදයක් තියන හින්දා බුර්කාව ඉවත් කළ යුතුයි කියන එකනේ. එහෙත් අපි 2005 අවුරුද්දේ ඉඳලා පැහැදිලිව අපේ සමාජයට පෙන්නලා දුන්නේ කාන්තාවන්ගේ මුහුණ ආවරණය කළ යුතුයි කියලා ඉස්ලාම් දහමේ නෑ කියන එකයි. ඒ නිසා එයින් ඉවත් වෙන්න කියා අපි මුස්ලිම් කාන්තාවන්ට කිව්වා. අපේ කාන්තාවන් මුහුණ වහන්නෙත් නෑ. අනෙක කාන්තාවන් කළු ඇඳීමේ අවශ්‍යතාවකුත් කුර්ආන්වල කියලා නෑ. තමන්ගේ අඟ පසඟ ආවරණය වෙන විදිහට පිරිමින්ගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැති විදිහට තමන් කැමැති ඇඳුමක් කාන්තාවන්ට ඇඳගන්න පුළුවන්. තවත් අපි කළ විශාල පරිවර්තනයක් තමයි දෑවැද්දට විරුද්ධව කටයුතු කිරීම. මුස්ලිම් සමාජයේ ගැහැනු ළමයෙකුට වඩා හොඳ කසාදයක් බන්දලා දෙන්න ඕනේ නම් විශාල දෑවැද්දක් පිරිමියාට ලබාදිය යුතුව තිබුණා. ඒක සම්පූර්ණයෙන් වැරදියි. හරි ඉස්ලාම් සම්ප්‍රදාය පිරිමියා කාන්තාව ඉල්ලන දෑවැද්ද දිය යුතු වීමයි. මේකත් අපි පැහැදිලි කරලා දුන්නා. මේ විදිහට වෙනස්කම් රාශියක් සිදුකළා.

කරන්නේ මේ වගේ වැඩ නම් කොහොමද ඔබලාගේ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් කියන අදහසක් සමාජගත වෙන්නේ?

ඉස්ලාම් දහම තියෙන්නේ ලෝකයේ ඕනෑම තැනකට, ඕනෑම සංස්කෘතියකට ගළපාගන්න පුළුවන් විදිහටයි. ඒ ඒ සංස්කෘති වෙනස් කරන්නේ නැතිව ඉස්ලාම් දහම යොදාගන්නට පුළුවන්. අපි මේක ක්‍රියාවෙන් කරලා පෙන්නුවා. අපේ පල්ලි කියන්නේ අන්‍ය සංස්කෘතින්වල ජනතාව නොසන්සුන් කෙරෙන ආකාරයෙන් අරාබි ආකෘති අනුව ගොඩනැඟෙන විශාල ගොඩනැඟිලි නොවෙයි. යාච්ඥා කරන්න සුදුසු, පහසුකම් ඇති ශාලාවක් හෝ ස්ථානයක් පමණයි. මුස්ලිම් පූජකවරු විදිහට කටයුතු කරන අපේ සංවිධානයේ මවුලවීවරු අරාබි සංස්කෘතියට අනුව පූජක ඇඳුම (ජුබ්බා) අඳින්නෙත් නෑ. සාමාන්‍ය කමිස කලිසම් අඳින්නේ. මොකද ඉස්ලාමයේ කියලා නෑ මුස්ලිම් භක්තිකයන් අරාබි සංස්කෘතිය පිළිපදින්න ඕනේ කියලා. ඉස්ලාම් සංකල්ප පිළිපදින්න කියලයි තියෙන්නේ. අරාබි සංස්කෘතිය කියන්නේ ඉස්ලාම් දහමට කාලෙකට පස්සේ එන දෙයක්. ඒ නිසා එක රටක සංස්කෘතියක් තවත් රටකට ආලේප කරන්න අවශ්‍ය නෑ. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට අදාළ උප සංස්කෘතික ලක්ෂණ තියෙනවා නේ. ඒක පවත්වාගෙන මුස්ලිම් ජාතිකයන් වශයෙන් ජීවත්වීමේ කිසිම ගැටලුවක් අපිට නෑ. අපි දිග රැවුල් වවන්නේත් නෑ. මේ වගේ දේවල් කරගෙන අපිට මේ රට තුළ අරාබි සංස්කෘතියක් ගොඩනඟන්න වුවමනාවකුත් නෑ. අපි මේ පරිවර්තනය කරගෙන යනකොට අපිට සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයෙන්ම ලොකු ප්‍රතිරෝධයක් මතුවුණා. ඒක දැන් උපරිම බලවත් වෙලා තියෙන්නේ. මේ නිසා ගම්වල ඉන්න අපේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න මිනිස්සුන්ට විරුද්ධවත් මහ පල්ලියෙන් පොලිසියේ ඇන්ටි්‍ර දානවා අහවල් ගමේ තව්හිද් ජමාඅත් පිරිසක් ඉන්නවා එයාලා ත්‍රස්තවාදීන් කියලා. මේක රට පුරාම කෙරීගෙන යනවා. ජනමාධ්‍යත් මේකට එකතුවෙලා ඉන්නේ. ඒ අයත් සමාජයට ගෙනියනවා අපි ත්‍රස්තවාදීන් කියන මතය. මේකෙන් ගොඩාක් අසරණ මිනිස්සු වන්දි ගෙවනවා.

ඔබලා දැඩිව අනුගමනය කරන කුර්ආන් ග්‍රන්ථයේ අන්‍යාගමිකයන් මරා දමන්න කියා සඳහන්ව තිබෙන බවටත්, සහරාන් කටයුතු කළේ ඒ අනුව බවටත්, ඉදිරියේදී ඔබලා යන්නේත් එතැනට බවටත් මුස්ලිම් නොවන ජනතාව තුළ අදහසක් තියනවා. මොකක්ද ඒ සම්බන්ධයෙන් ඔබට කියන්න තියෙන්නේ?

තියනවා. හැබැයි ඒ, සටන සාධාරණීකරණය කරන්න නෙවෙයි. අයුක්තියට එරෙහිව තමයි ඒ සටන් සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේ මේකෙත් තියනවා අයුක්තියට එරෙහිව වෙච්ච සටන් ගැන. බලෙන් ගිහිල්ලා මිනීමරන්න හෝ කාවවත් අල්ලගන්න කියලා නබි නායකතුමා කිසිම තැනක කියලා නෑ. එතුමා උපන් ගමෙනුත් පන්නා දැමූ කෙනෙක්. උපන් ගම මක්කාවෙදි දේශන පටන්ගන්න කොට ඒකට දැඩි විරෝධයක් ඇවිල්ලා ඒ සමාජයෙන්ම පන්නනවා. ඊට පසුව මදීනාව කියන නගරයට සංක්‍රමණය වෙලා එහි ජීවත්වෙන කොට මක්කාවෙදි ඔහුට විරුද්ධ වුණු පිරිස පසුකාලයේදී විශාල බල සේනාවක් අරන් එනවා නබිතුමාව ආක්‍රමණය කරන්න. එතනදි මදීනාවේ රාජ්‍ය පාලකයා, සේනාධිනායකයා හැටියට නබිතුමාට සිදුවෙනවා තමන්ගේ ජනතාව ආරක්ෂා කරගන්න. ඒ අවස්ථාවේදි තමයි එතුමා ඉදිරියට යන්නේ. ඒ සිදුවීම වන අවස්ථාවේ පහළ වෙච්ච වැකි කුර්ආන්වල තියනවා. ‘සතුරන්ව දැක්කොත් මරන්න’ කියලා. අපිත් එල්ටීටීඊ එකට විරුද්ධව යුද්ධ කරනකොට හමුදාපතිගේ අණ කොහොමද එන්නේ? සතුරන්ව දැක්කොත් මරන්න කියලා තමයි. යුද පිටියේදී සතුරන්ව දැක්කොත් අනුකම්පාව දක්වන්න කියලා කියන්නේ නෑනේ. ඒ වැකි විකෘති කරලා කිසියම් අවශ්‍යතාවක් වෙනුවෙන් මිනිසුන්ව බ්රේන් වොෂ් කරන ව්‍යාපාරයක් ජාත්‍යන්තරයෙන් යනවා. අපේ තේරුම් ගැනීම මේක පිටිපස්සේ දේශපාලන බලඅරගලයක් තියනවා කියන එකයි.

ජෙමියතුල් උලමා කියනවා ඔබලාගේ සංවිධානය මුස්ලිම් විද්වතුන්ගේ අවවාදයක් පවා පිළිනොගෙන වෙනත් ගමනක යන බව. කතා කළාට සාකච්ඡාවකටවත් නොඑන බවටත් ඔබලාගේ සංවිධානයට චෝදනා එල්ල වෙනවා?

අපි අතරේ ආගමික ගැටුමක් තියනවා. ඉස්ලාම් ධර්මය කියන්නේ කුර්ආන් ධර්මයයි, නබිතුමාගේ මඟපෙන්වීමයි විතරයි කියලා අපි කියන කොට ඒ ගොල්ලන්ගේ මතය තමයි ඒ දෙක විතරක් නෙවෙයි ඒ කාලේ හිටිය විද්වතුන්ගේ මතවාදත් ඉස්ලාම් කියලා. ඒ අනුව ඒගොල්ල අනුගමනය කරන්නේ සාෆිව. සාෆි කියන්නේ මක්කම ඒ කාලේ හිටිය විද්වතෙක්. එයා කියන විදිහට තමයි මේගොල්ල ඉස්ලාම් ආගම පිළිපදින්නේ. ඒ විදිහට පසු කාලයේ ආව අයගේ අදහස් ඉස්ලාම් වෙන්න බෑ කියන එක අපි උදාහරණ සහිතව කියනකොට අපි අතර මත ගැටුම් ඇතිවුණා. වහාබ්වාදය කියන්නෙත් මේ විදිහට පසුකාලීනව එන දෙයක්නේ. එතකොට සාෆිද ඉස්ලාම් මොහමඞ් නබිතුමානන්ද ඉස්ලාම්? කුර්ආන්ද ඉස්ලාම් වහාබ්වාදයද ඉස්ලාම්? මේ වගේ විවිධ මත ගැටුම් තියන නිසා ඒගොල්ල එක්ක අපිට එකතුවෙලා වැඩ කරන්න බෑ. ඒ වුණාට රටට බලපාන ආපදාවන්, මුස්ලිම් සමාජයට විරෝධතා වැනි සමාජ ක්‍රියාවන් එනකොට අපිට පුළුවන්නේ එකතුවෙලා වැඩකරන්න. එහෙම එකතුවෙලා වැඩකරමු කියලා අපි ලිඛිතව එයාලගෙන් ඉල්ලීම් කරලා තියනවා. ඒත් මේ ප්‍රශ්නය හිතේ තියාගෙන එයාලා අපිව සම්බන්ධ කරගන්නේ නෑ. අපේ ඒ සෑම ඉල්ලීමක්ම ඒගොල්ල ප්‍රතික්ෂේප කරලා තියනවා. ඊට පස්සේ අපිට බොරු චෝදනා කරනවා අපි එයාලත් එක්ක එකතුවෙලා වැඩ කරන්නේ නෑ කියලා. එයාලා කියන දේ එහෙමම අහන්න නම් ඉස්ලාම් දහම එයාලගේ දහමක් වෙන්න ඕනේ. ඒගොල්ල තමයි සිංහල සමාජයයි මුස්ලිම් සමාජයයි අතරේ නැති අවුල් ඇති කරන්නේ.

මොනවද ඒගොල්ල ඇති කරන අවුල්?

ජෙමියතුල් උලමා තමයි මුලින්ම කිව්වේ මුස්ලිම් කාන්තාවන් අනිවාර්යෙන්ම මුහුණු ආවරණය කළ යුතුයි. නැත්නම් මරණෙන් පස්සේ අපාය හිමිවෙනවා කියලා. ඒක වහාබ්වාදයේ එන දෙයක් මිස කුර්ආන්වල තියන දෙයක් නෙවෙයි. දැන් කියනවා එයාලා කියලා නෙවෙයි කාන්තාවන් මුහුණු ආවරණය කරන්නේ, ඒ අයගේ සංස්කෘතික මතය අනුව කියලා. එහෙමනම් අපි අහන්නේ කවුරු කියලාද මුස්ලිම් ගැහැනු අය මුහුණු ආවරණය කරන්න පටන් ගත්තේ කියලා. දේශීය නිෂ්පාදන හලාල් කිරිල්ලක් පටන් ගන්නෙත් මේගොල්ල. මේ දෙකම පසුව සිංහල-මුස්ලිම් සමඟියට බාධා කරන ලොකු අවුල් ඇති කළා. ඊට පස්සේ දෙකම ඒ අය ඉවත් කරගන්නවා. අපි මේවා ගැන කතා කරනවාට ඒ අය කැමැති නෑ. ඒගොල්ල හිතන්නේ ඒ අය තමයි සමාජයේ උසස් කට්ටිය, තව්හිද් ජමාත් කියන්නේ සුළු පිරිසක්, පහළ කට්ටියක් කියලා. එයාලා ඉන්නෙත් ලොකුවට රැවුල වවලා, තලප්පා සෙට් දාගෙනනේ. අපි වයසෙන් අඩු කලිසම් කමිස අඳින පොඩි පිරිසක් ඕක නෙවෙයි ඉස්ලාම් කියලා කිව්වම ඒගොල්ලන්ට ඒ අයගේ ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා.

තමන්ගේ සංස්කෘතිය ඇතුලේ වෙනස්කම් කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාවට නඟන කොට අනෙකුත් සංස්කෘතින් සමඟත් යම්කිසි අවබෝධයකින් කටයුතු කරන තැනකට යා යුතුයි කියා ඔබලාට හිතුණේ නැත්ද? විශේෂයෙන්ම ලංකාව ජාතීන් අතර, ආගම් අතර දීර්ඝකාලීනව ගැටුම් පවතින රටක් හැටියට.

කිසිම ගැටලුවක් නෑ. ‘ප්‍රසන්න දහමක්’ කියලා විවෘත ප්‍රශ්න උත්තර වැඩසටහනක් අපි කරනවා. කරාපිටිය පන්සලෙත්, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙත් පහුගිය දවස්වල අපි ඒ වැඩසටහන් කළා. මේවාට සිංහල බෞද්ධ අය ඕනේ තරම් සහභාගි වෙනවා. අපේ සංස්කෘතිය ගැන රටේ මහ ජාතියට අවබෝධයක් දෙන්නයි, ගැටලු සැකසහිත තැන් දුරු කරවන්නයි අපි මේවා කරන්නේ. අපේ මතවාදය හරියට සමාජයට ගෙනිච්චොත් අපේ සංස්කෘතියේ ලොකු වෙනසක් ඇති කරගන්නත්, අන්‍ය ජාතීන් සමඟ දැනට තියන ගැටලු වඩාත් යහපත් ආකාරයෙන් විසඳාගන්නටත් හැකියාව ලැබෙන බව අපිට විශ්වාසයි. නමුත් බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ සියලුදෙනාම අපිම අපිට විරුද්ධව ප්‍රහාර එල්ල කරන්නට පටන් ගෙන තිබෙනවා.

උපුටා ගැනීම